යහපාලනය යටතේ මාසයකට පැහැරගැනීම් දෙකක් වාර්තා වෙයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

වර්තමාන පාලනය යටතේ ගතවූ දෙවසරක කාලයක් තුල සිදුවූ පැහැරගැනීම් පනහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් වාර්තා පලවී ඇතැයි ශ්‍රී ලංකික මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය විසින්  පසුගිය 26 මාසයක කාලය තුල විවිධ මාධ්‍ය වල පළවූ තොරතුරු ඇසුරින් සංගෘහිත අලුත්ම වාර්තාව හෙළි කරන පරිදි සෑම මාසයකම පාහේ අඩුම තරමින් දෙදෙනකු පැහැර ගෙන ගොස් තිබේ.

“තිත්ත ඇත්ත: නොකියවූ පත්තර” නමින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් තොරතුරුවල දැක්වෙන පරිදි නඩු නැති ඝාතන, ලිංගික දුෂණ, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ වධබන්ධන තවමත් නැවතී නැත.

එම අපරාධ වලට ගොදුරු වූ සාතිශය බහුතරය දෙමළය. චුදිතයන් රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ය.

ගගන විසින් පල කරන ලද වාර්තා කිහිපයක්ද එහි ඇතුලත් වේ.

තොරතුරු පළවූ ප්‍රකාශන වල මූලාශ්‍ර සහිතව පළ කර ඇති පිටු 19ක වාර්තාවේ එන සෑම තොරතුරක්ම තහවුරු කරගැනීමේ හැකියාවක් නොලද බව JDS පවසයි.

අවධානය යොමු නොවීම

කෙසේවෙතත්, මේසා පරිමාණයෙන් තවමත් සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවේ හෝ මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෝ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම ගැන එම සංවිධානය කනස්සල්ල පල කරයි.

“පසුගිය තුන් අවුරුද්ද තුල අඛණ්ඩව කෙලෙසීම් සිදුවූ බව ප්‍රතික්ෂේප කරන හඬ වැඩියෙන්ම නැගෙන්නේ අලුත් ආණ්ඩුව ට කර උර දුන් අයගෙනි,” යි JDS වාර්තාව කියා සිටී.

“දිගටම සිදුවන පැහැරගැනීම් සහ වධබන්ධන සම්බන්ධයෙන් විදේශ වල සිට නැගෙන චෝදනා රට තුලින් තහවුරු නොවන්නේ ඇයිද යන්න කොළඹ සිවිල් සමාජය බොහෝ විට අහන ප්‍රශ්නයකි. උතුරේත්, නැගෙනහිරත් ඒකල සිදුවීම් ගැන තවමත් නිර්භීතව වාර්තා කරන දෙමළ ජනමාධ්‍ය ඔවුන් විසින් කියවනු නොලබන බව පැහැදිලිය. පැහැරගැනීම්, වධබන්ධන, අතුරුදහන් කිරීම් සහ ඝාතන වාර්තාකරුවන් විසින් අඛණ්ඩව වාර්තා කර තිබුනත් ආණ්ඩුවේ ආධාරකරුවෝ ඒවා ගණන් නොගෙන සිටිති.”

තමන් විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තාවේ එන සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන JDS එහි ඇති හෝ මෙතෙක් පල වී නැති තොරතුරු සම්බන්ධ වැඩිදුර විස්තර වේ නම්,  info@jdslanka.org වෙත ඊ මේල් මගින් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube