රංගජීවට සහ එමිල් රංජන්ට අධි චෝදනා බාර දෙයි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට ඊයේ (18) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරණයට පත් කිරීමේ සිද්ධියේ චෝදනාවලට අදාළවයි.

මෙම නඩුව අද ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම අවස්ථාවේදී සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් නඩු විභාගය ආරම්භ වීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්න ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවයි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කිරීමට යන ඉල්ලීම පිළිබඳව සුදුසු අවස්ථාවේදී විරෝධතා දැක්වීමට තමන් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව එක් එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියම කළේය.

විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඇපකරුවන් මෙම අධිකරණ බල සීමාව තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝගයේ සඳහන් වුණි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුව ගේ ඉන්දික සම්පත් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පලා ගොස් ඇති බවත් ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා ඉදිරියේ දී ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටියේය.

අනතුරුව නඩුව නැවත අගෝස්තු මස 01 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබෙයි.

මෙම සිද්ධියේදී මරණයට පත් වූ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව ද නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා වල සඳහන් වේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි මතභේදයට තුඩු දුන් මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube