ලිබරල්වාදයේ අනාගතය

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail


සටහන  චමින්ද මුණසිංහ

මෑත කාලයේ ලියැවුණු පොත් කීපයක් මෙහිදී අතිශය වැදගත්ය. මේ සියලු පොත් ලියැවී ඇත්තේ වත්මන් ලෝකයේ සිටින දේශපාලනය පිළිබඳ විද්වතුන් අතිනි. ෆ්‍රැන්සිස් ෆුකුයාමා එවන් එක් විද්වතෙකි. ‘ද එන්ඞ් ඔෆ් හිස්ටි්‍ර ඇන්ඞ් ද ලාස්ට් මෑන්’ ඔහුගේ කෘතියකි. ඉතිහාසයේ අවසානය සහ අවසන් මිනිසා යන්න එහි අදහසය. මෙම කෘතියට පදනම්වී ඇත්තේ කතුවරයා 1989 දී ලියන ලද ආන්දෝලනාත්මක ලිපියකි. මේ කෘතියෙන් කතා කරන්නේ ලිබරල්වාදය සම්බන්ධයෙනි. සීතල යුද්ධයේ අවසානයත් සමඟ කොමියුනිස්ට්වාදය, ෆැසිස්ට්වාදය පරාජයවී ඇති නිසා ලෝකයේ ඉතිරිව ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් බව ඔහුගේ තර්කයයි. වෙනත් මතවාදයක් ලෝකයේ ඉතිරිව නැති බව ෆුකුයාමා පෙන්වාදී තිබේ. ලෝකය පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැතිරී ලොව සියලු රටවල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වීම වැළැක්විය නොහැකි බව මොහුගේ අදහසය. මේ සම්බන්ධයෙන් විවිධ මත පළවුණි. එම මතයට විරුද්ධව බොහෝ දෙනා ග්‍රන්ථකරණයෙහි නියැලුණහ. එසේ වුවත් ලිබරල්වාදය අවබෝධ කර ගැනීමට ෆුකුයාමාගේ ග්‍රන්ථය බෙහෙවින් වැදගත්ය.

ෆුකුයාමා මෑතකදී තවත් ග්‍රන්ථයක් රචනා කළේය. ‘අයිඩෙන්ටිටි’ එහි නාමයයි. එනම් ‘අනන්‍යතාව’ යනුවෙනි. ‘ගරුත්වයට ඇති ඉල්ලුම සහ වෛරී දේශපාලනය’ යන තේමාවෙන්  2018 වසරේදී මෙම ග්‍රන්ථය රචනාවී තිබීම බෙහෙවින් වැදගත්ය. මිනිසුන්ගේ අනන්‍යතාවය සහ එහි ඇති වැදගත්කම මෙමගින් පිළිබිඹු කර තිබේ. ෆුකුයාමා මුලින් දැක්වූ මතවාදයෙන් තරමක් ඔබ්බට ගොස් කරුණු පැහැදිලි කර තිබේ. ලෝකයේම ලිබරල්වාදය පැතිරී එයින් මිනිසුන්ට යහපතක් වන බව මුල් කෘතියෙන් පෙන්වාදී තිබුණ ද 2018 වනවිට එයින් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ නොලැබුණි. ඒ වගේම මිනිසුන් අතර අසමානතාව විශාල වශයෙන් වැඩිවීම යනාදිය හේතුවෙන් ලිබරල්වාදයෙන් වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබුවේ ප්‍රභූ පැලැන්තිය බව ෆුකුයාමා පෙන්වා දී තිබේ. අධ්‍යාපනයෙන් ඉහළට ගිය ප්‍රභූන් එසේ ප්‍රතිලාභ ලබද්දී සෑම රටකම මධ්‍යම පාංතික කොටසක් නිර්මාණය වූ ආකාරය අනාවරණය කර ඇත. නිපුණතාවයෙන් අඩු අය අතර විශාල වශයෙන් විරැකියාවක් ඇතිවීමට ද මේ කාරණය හේතු වූ බව ෆුකුයාමාගේ අදහසය. ලෝකය පුරා වැඩ කරන සාමාන්‍ය ජනතාවගේ ආදායම් තත්ත්වය විශාල වශයෙන් පහළ වැටුණු ආකාරය ඔහු පෙන්වන අනෙක් කරුණය.

අද ලෝකයේ දේශපාලනය අතර ඒ ඒ රටවල ඒ ඒ ජාතීන්ගේ අනන්‍යතාවය වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇති බව මනාව විග්‍රහ කර තිබේ. සියලු දෙනාගේ අයිතිවාසිකම්, නිදහස ලිබරල්වාදයේදී කතා කළේය. එහෙත් අද වනවිට එය එසේ නොවන බව පෙනීගොස් තිබේ. මේ නිසා ‘අනන්‍යතාව’ දේශපාලනයේදී වැදගත්වන ආකාරය ෆුකුයාමා සිය දෙවැනි කෘතියෙන් පෙන්වාදී තිබේ. මේ සමගම ජාතිකවාදය ඉස්මතුව ඇති ආකාරයක් විග්‍රහයට හසුව තිබෙන්නකි. මේ සම්බන්ධව ඉදිරියේදී දීර්ඝ ලෙස කතා කරන්නට පුළුවන.

මේ කාරණා තේරුම් කරදී ඇති තවත් දේශපාලන විද්වතකු වශයෙන් ජෝන් ජේ. මීයෂ්මියර් හඳුන්වාදිය හැකිය. ‘ද ට්‍රැජඩි ඔෆ් ග්‍රේට් පවර් පොලිටික්ස්’ ඔහුගේ කෘතියකි.

එනම් මහා බලවතුන්ගේ දේශපාලනය නිසා ඇතිවී තිබෙන ඛේදවාචකය යන්නය. මහා බලවතුන් කීප දෙනකු  සිටින විට මල්ටිපෝල  යනුවෙන්ද බලවතුන් දෙදෙනකු සිටින විට බයිපෝල යනුවෙන්ද එක් බලවතකු සිටින විට යුනිපෝල යනුවෙන්ද දක්වා තිබේ. ලෝකය එක් බලවතකු යටතට යාමත් චීනය සහ රුසියාව ඉදිරියට ඒමත් සමග මල්ටිපෝල තත්ත්වයක් ඇතිවන ආකාරයත් හොඳින් විග්‍රහ කිරීමට මීයෂ්මියර් සමත්ය. මේ නිසා ලෝක දේශපාලනයේ ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන්ද කතා කරතිබේ. ඒ ඒ රටවල් බලවතුන් සමඟ කටයුතු කරන ආකාරය ද මෙමගින් අවබෝධ කරගත හැකිය.

බලවතුන් දෙදෙනකු ලෝකයේ සිටිනවිට ඔවුන් අතර බල අරගලයක් තිබීමෙන් යුද්ධයක් ඇති නොවන බව මීයෂ්මියර් පෙන්වා දෙන්නකි. එහෙත් බලවතුන් කීප දෙනකු සිටින විට යුද්ධයක් ඇතිවීමට ඉඩකඩ වැඩි බව ඔහු පැහැදිලි කරන්නකි. පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ ඇතිවූ කාලවල බලවත්තු කීප දෙනෙක් සිටියහ. සීතල යුද්ධය අවසානයෙන් පසු ඇමෙරිකාව ලෝක බලවතා බවට පත්වුණි. මුළු ලෝකයම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිටිය යුතු බව කීවේ ඒ අනුවය. විවිධ රටවල ආණ්ඩු පාලකයන් බලෙන් පහ කිරීමට පියවර ගත්තේද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීමට සහ ලිබරල් ආයතන පිහිටුවීමටය. මේ කාරණය ඉතා හොඳින් පැහැදිලි කිරීමට මීයෂ්මියර් කටයුතු කර තිබේ. මේ පිළිබඳව තවත් විද්‍යාත්මකව කරුණු අවබෝධ කර ගැනීම වැදගත්ය.

ඒ වගේම 2018 වසරේදී ‘ද ග්‍රේට් ඩිලූෂන්’ නමින් කෘතියක් මීයෂ්මියර් විසින් රචනා කරන ලදී. වැරැදි විශ්වාස කිරීමක් වශයෙන් මෙය අර්ථ ගන්වා ගන්නට පුළුවන. ඒ වගේම ‘ලිබරල් සිහිනය සහ ජාත්‍යන්තර යථාර්ථය’ යනුවෙන් එහි දෙවැනිව දක්වා තිබේ. පශ්චාත් සීතල යුද කාලයේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය අසාර්ථකවීම සහ එයට හේතුවූ කාරණා මීයෂ්මියර් මෙහිදී පෙන්වාදී තිබේ. ලිබරල්වාදය ජාතිවාදය සහ යථාර්ථවාදය රටවල් අතර සම්බන්ධතාවට බලපාන ආකාරය ද පැහැදිලි කෙරෙන තවත් කරුණකි. ලිබරල්වාදයට වඩා ජාතිකත්වය බලගතු බව මෙහි හරයවී තිබේ. ලිබරල්වාදය, ජාතිකවාදය, යථාර්ථවාදය කුමක්දැයි හරියට අවබෝධ කර ගතහොත් එය අතිශයින් වැදගත් බව මෙම කතුවරයාගේ අදහසය. ඇමරිකාව ගෙනගිය  විදේශ ප්‍රතිපත්තිය අසාර්ථකවීමට හේතු ඒ හරහා දැනගත හැකි බවද ඔහු කියා තිබේ. ‘ලිබරල් ආධිපත්‍යය’ සම්බන්ධව ද කතා කර  තිබේ. ඇමරිකාව ලෝක බලවතා වීමෙන් පසු ලිබරල් ආධිපත්‍යයක් ගෙනගිය අයුරුද මෙහි විග්‍රහවන්නකි. තමන් වෙත ලෝකයේ රටවල් නතුකර ගැනීමට ගෙනගිය වැඩපිළිවෙළ අවබෝධ කර ගැනීමට මෙමගින් පුළුවන. ‘ලිබරල් ආධිපත්‍යයට’ නතුකර ගැනීම ආරම්භයේ සිටම අසාර්ථක ප්‍රතිපත්තියක් වූ බව මීයෂ්මියර්ගේ විග්‍රහයවී තිබේ.
ලිබරල් ආධිපත්‍යය පැතිරවීමට යාමේදී ඇමෙරිකාව අනෙක් රටවල ජාතිකත්වය සහ යථාර්ථවාදය සමඟ ගැටෙන්නට වීම මේ අසාර්ථකත්වයට හේතුව වශයෙන් පෙන්නා දී තිබේ. එනිසා ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් ලිබරල් ආධිපත්‍යය ඇති කිරීමේ කටයුතු ඉක්මනින් අතහැර දමන්නේ නම් එය ඇමරිකාවටත් ලෝකයටත් සුබදායක වන බව මේ කතුවරයාගේ අදහසය. තවත් ගැඹුරු විග්‍රහයක් මෙහි ඇතුලත්ය.

සැමුවෙල් පී. හන්ටින්කන් තවත් දේශපාලන විද්වතෙකි. ඔහු පසුගිය වසරේ මිය ගියේය. ඔහු ලියූ ‘ද ක්ලෑෂ් ඔෆ් සිවිලයිසේෂන්ස්’ කෘතිය ඉහත කාරණා පිළිබඳ තවත් අදහස් ඉදිරිපත් කරන්නෙකි. ශිෂ්ටාචාරවල ගැටුම’ වශයෙන් එය සිංහලෙන් අර්ථ ගැන්විය හැකිය. ලෝකයේ සිදුවන සියල්ල ශිෂ්ටාචාර මත රඳා පවතින බව ඔහුගේ අදහසය. එක් ශිෂ්ටාචාරයක් මත තවත් ශිෂ්චාරයක් ආධිපත්‍යය පැතිරවීමට යාමෙන් ගැටුම් ඇතිවූ ආකාරය මෙම කෘතියෙන් පෙන්වාදී තිබේ. මැද පෙරදිග අද ඇතිවී තිබෙන තත්ත්වයට මූලික හේතුව මේ කාරණය බව හන්ටින්කන්ගේ විග්‍රහයයි. මැද පෙරදිග ශිෂ්ටාචාරය යටපත් කර බටහිර ශිෂ්ටාචාරයක් බවට හැරවීමට යාමේ ප්‍රශ්නය මෙහි මතු කරන්නෙකි. බලය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව ශිෂ්ටාචාර අතර බලය හුවමාරුවීම යනාදිය මනාව පැහැදිලි කරන්නකි. ඒ ඒ අය අතර තිබෙන සංස්කෘතික දේශියභාවය බලපාන ආකාරය කෙරෙහි ද අවධානය යොමුකර තිබේ. විශ්වීයකරණයට ගොස් ඇතිකරගෙන තිබෙන අරගලය චීන බලය මතුවීම අනාගතයේ බටහිරට ඇතිවන තත්ත්වය යනාදිය මෙහිදී විග්‍රහවී තිබේ. ලිබරල්වාදය, ජාතිකවාදය, සහ යථාර්ථවාදය සම්බන්ධයෙන්  ඉහත කෙරුණු කෙටි පැහැදිලි කිරීම් ඉදිරි ලිපි මගින් වෙන් වෙන්ව මෙහි සඳහන් කෘති ආශ්‍රයෙන් විග්‍රහත්මකව කතා කිරීම බෙහෙවින් වැදගත්වනු ඇත.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube
×
Any questions?