මහනුවර ගින්දර මැද්දෙන් මනුස්සකම නැගිටී /සාක්ෂි මෙන්න

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

ආගමික ස්ථාන / ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වලට සිදු කළ හානිය ගැන දැඩි අවධානයක් යොමුවන අතරතුර පෞද්ගලික දේපල,දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන විනාශ කිරීම වළක්වමින් ඒවා ආරක්ෂා කළ සිංහල සහ මුස්ලිම් ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් දිවයිනේ විිවිධ ප්‍රදේශවලින් වාර්තාවනවා.

“හිතවත! හිතවතිය! ඔබේ ‘ගෙලිඔය’ නගරය ආරක්ෂා කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වය කැටි කර ගෙන අපි ඉදිරියට යා යුතුයි. අපේ නගරය වගේම එහි ජීවත් වන සියලු දෙනා ආරක්ෂා කිරීම අපගේ වගකීමයි”, සිංහල මුස්ලිම් ජනතාව එක්ව ජිවත්වන ගෙළිඔය නගරයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයේ ප්‍රචාරක රථය එවන් නිවේදන නිකුත් කරමින් කටයුතු කර තිබුණා.

“අපේ වටිනා නිවාස, ජිවිත ආරක්ෂා කර ගැනීම සහ ගැටුම් වලට නොයෑම අපේ යුතුකමයි. අපේ මනසට විෂබීජ දාලා. අපේ නගරය, රට විනාශ කරන වැඩපිළිවෙල අපි නැවැත්විය යුතුයි” යනුවෙන් නිවේදනය කළ එම ප්‍රචාරක රථය පැය කීපයක් ගෙලිඔය ප්‍රදේශයේ සංචාරය කරමින් සාමය ආරක්ෂා කිරීම පිළිබදව ජනතාව දැනුවත් කළ බව වාර්තාවනවා.

තවදුරටත් ගැටුම් ඇති නොකර නිවාසවල රැඳෙමින් සිංහල හා මුස්ලිම් සමගිය ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස අකුරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ශබ්දවාහිනිය මගින් දිගින් දිගටම නිවේදනය කළ බවයි වාර්තාවන්නේ.

මුරුතලාව ප්‍රදේශයේ තම පල්ලිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු සිංහල තරුණයන් පිරිසක් එහි රාත්‍රිය ගත කළ බව මුරුතලාව ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් අනාවරණ කළා.

නිවාස විනාශ වීම නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ඇතැම් අසල්වැසි සිංහල නිවැසියන් ඉදිරිපත් වී ඇති බවට දිගන ප්‍රදේශයේ වාර්තා පවතිනවා.

මුල් සිද්ධියේදී ජීවිතය අහිමි වූ සිංහල සහ මුස්ලිම් තරුණයන්ගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මෙම මරණ හේතුකොටගෙන තවත් ගැටුම් නිර්මාණය කර නොගන්නා ලෙසයි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube