වඳපෙති කතාවෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුලුවන් – රංජන්

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

කාන්තාවන් සහ පුරුෂයන් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි බෙහෙත් පෙති නොමැති බව ජාතියට ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සිදුවීම ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ දැනුම මනාව තහවුරුකරන්නක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියයි.

ඒ ලක්බිම ඔන්ලයින් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක දීය. එහිදී අප කළ විමසුමට ඔහු දුන් පිළිතුරු මෙසේය,

  • පවුල් සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන ඔබ උපහාසයෙන් කතා කරන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ පවුල් සංවිධාන ව්‍යාපාරය ආරම්භ කළේ 1970 මුල් භාගයේ දීයි. එදා මෙදා තුර උපත්පාලනය කිරීම සඳහා කාන්තාවන් සහ පිරිමින් අනුගමනය කළ යුතු උපත්පාලන ක්‍රම ගැන ජනතාවට ‘ටොකු අනිමින්’ කියා දුන්නා. එහිදී පිරිමින් සඳහා කොන්ඩම් භාවිතයත්, කාන්තාවන් සඳහා ගිලින පෙති භාවිතයත් තුළින් තාවකාලිකව උපත්පාලනය කළ හැකි බව  ජාතික මට්ටමින් කියා දුන්නා ඒ වගේම කාන්තාවක නිත්‍ය වඳ භාවයට පත්කළ හැක්කේ ‘ටියුබෙක්ටමි’ සැත්කමින් පමණක් බවත්, පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැක්කේ ‘වාසෙට්ටමි’ නම් සැත්කමින් බවත් ‘උස්මුරුත්තාවට’ එන තුරුම ජනතාවට කියා දුන්නා.

ඒවගේම කාන්තාවන් හා පිරිමින් නිත්‍ය වඳ භාවයට පත් කළ හැකි පෙති, කරල් හෝ ඖෂධ නොමැති බව ලෝකයම පිළිගත් කරුණක්. එවත් තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාවට ඒ කරුණ කියාදීම සඳහා මාධ්‍ය හමු පැවැත්වීම ජාතික අවාසනාවක්.

  • එතකොට ඔබ කියන්නේ එය රාජ්‍ය අංශයේ මෝඩකමක් කියාද?

මෝඩකම ඇත්තේ කා තුළද යන්න පසුගිය කාලයේ අපේ රටේ වූ සිදුවීම් තුළින් ඉතාම පැහැදිලි වෙනවා. ඒඩ්ස් රෝගයට මුල්වන HI වෛරසය සුළඟෙන් බෝවන බව පිළිගන්නා ජනතාවක් වගේම; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන්; නැතිනම් යට ඇඳුමක කිසිවක් ආලේප කිරීමෙන් කාන්තාවන් හා පිරිමින් වඳ කළ හැකි යැයි සිතන ජනතාවක් ගෝත්‍රික සමාජයක හැර දියුණු සමාජයක දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ අතින් අපටත් වඩා ගෝත්‍රික සමාජද දියුණු බව කිව හැකියි.

  • ඔබ එසේ කියන්නේ ඇයි?

ගෝත්‍රික සමාජ වල බොහෝ විට පිළිගන්නේත්; පිළිපදින්නේත්; ඔවුන්ගේ සාම්ප්‍රදායික මතවාද පමණයි. නමුත් අපේ රටේ සාම්ප්‍රදායික නොවූ යම් යම් පුද්ගලයන්ගේ සිත් තුළ මැවෙන මනස්ගාත ශීඝ්‍රයෙන් සමාජගත වෙනවා විතරක් නෙවෙයි; ජාතික මට්ටමිනුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවගේ රටක් සංවර්ධනය වෙනවා බලා සිටීම ‘කොකා වෙලේ වතුර හිදෙන තෙක් බලා ඉන්නවා වගේ’ වැඩක්.

  • මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට ජාත්‍යන්තරය හමුවේ අපකිර්තියට ලක්විය හැකියි නේද?

නමුත් මම හිතනවා මේ වගේ ජනතා සිතුම් පැතුම් මුල්කොට අපේ රටේ සංචාරක ව්‍යාපාරය තවත් ප්‍රවර්ධනය කරන්න පුළුවන් කියා.

  • ඒ කොහොමද?

සුළඟින් ඒඩ්ස් බෝවෙන බව; මස් හොද්දකට පෙත්තක් දැමීමෙන් ස්ත්‍රීන් හා පුරුෂයන් වඳ භාවයට පත් කළ හැකි බව මේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් විශ්වාස කරන පුවත ජාත්‍යන්තරව ප්‍රචාරය කළ හොත් අපේ රටට සංචාරකයන් වඩ වඩා අද්දවාගන්නත් බැරිවෙන එකක් නැහැ.

  • ඔබ සිතන අන්දමට ඔවුන් එසේ පැමිණෙන්නේ කුමක් සඳහාද?

මේ වගේ ලෝකයම මවිත කරන ‘උසුළු විසුළු’ නිර්මාණය කරන ‘අපේ අයියලගේ’ මුහුණු දැක බලා ගැනීමට තමයි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube