වැලිකඩ වාර්තාව රනිල් ළඟ හිරවෙලා මාස 33යි

Facebooktwittergoogle_plusredditpinterestlinkedinmail

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ඝාතනය සම්බන්ධව විමර්ෂණය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී වසර දෙකකුත් මාස 09කට වැඩි කාලයක් ගතවී ඇතත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එහි පිටපත් මේ වන තුරු අදාළ අංශ වෙත නිකුත් කර නොමැති බව වාර්තා වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 27 දෙනකු නම් ලැයිස්තුවකට අනුව තෝරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන වගඋත්තරකරුවකු වී සිටින වාර්තාව මෙතෙක් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති. 2012 නොවැම්බර් 09 සහ 10 යන දින දෙකේ දී සිදු වූ මේ ඝාතනය සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට ය. මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විශේෂ කමිටුවේ සාක්ෂි මඟින්ද අනාවරණය වී ඇත්තේ මීට ගෝඨාභය රාජපක්ෂගේ ඍජු මැදිහත්මක් තිබූ බවයි.

වැලිකඩ ඝාතනයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක් වූ අතර ඒ නිසාම 2015 ජනවාරි 22 වනදා එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා විසින් වැලිකඩ ගැටුම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදී.

ඒ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ එම කමිටුවේ අනෙක් සාමාජිකයන් දෙදෙනා වුයේ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ සහ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන අයය.

ඔවුන් විසින් සිදුකළ විමර්ශනය අවසානයේ පිටු 600 කට ආසන්න ප්‍රමාණයේ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට ලබාදුන් අතර ඒ 2015 වසරේ ජුනි 9 වනදා ය. එහෙත් මේ වන විට වාර්තා වන්නේ අදාළ කමිටු වාර්තාවේ පිටපත් නීතිපති දෙපාර්තමේන්තුවට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවය.

මේ සම්බන්ධයෙන්  එම කමිටුවේ සාමාජිකයකු වූ නීතීඥ එස්.කේ.ලියනගේ විසින්ද මේ කරුණු තහවුරු කර තිබිණි. ඔහු පවසා තිබුණේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, පොලිස්පති ඇතුළු අනෙකුත් නිලධාරීන්ට ඉහළින් මීට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල දී ද වැදගත් සාක්ෂි රැසක් ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය කාලය පුරා අදාළ ඝාතනයට හමුදාවට අණ දුන් බි‍්‍රගේඩියර්වරයකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ ගත්තද, අදෘශ්‍යමාන හස්තයක බලපෑමෙන් එය ප‍්‍රමාද වෙමින් තිබේ. මේ සිද්ධියට අදාළව මෙතෙක් විධිමත් අධිකරණ ක‍්‍රියාවලියක් හෝ ආරම්භ කර නැති තත්ත්වයක් තුළ ලංකාවේ යුක්කිය පසිදලීමේ ක‍්‍රියාදාමය බරපතළ ගැටලූවකට මුහුණ දී ඇති බව අදාළ සිවිල් සංවිධාන සහ සමාජ ක‍්‍රියාකාරීන් මතු කරන තර්කයයි.

Facebooktwittergoogle_pluslinkedinrssyoutube